ටිකිරිගේ බ්ලොග් සටහන්, ඔබට අවශ්‍ය දැනුම යාවත්කාලීන කරගන්න..

Wikipedia

Search results

Friday, January 11, 2019

අපි කව්රුත් හැමදාම ඉන්නේ නෑ, මැරෙනවා....



මා උපන් දා සිට මේ මොහොත වන තුරු මොහොතින් මොහොත, පැයෙන් පැය, දවසෙන් දවස, වසරෙන් වසර, සිරුර ජරාවට පත් වූ සැටි, ලෙඩ රෝගවලට ගොදුරු වූ සැටි, සවිබල අත් පා දුබල වැ ගිය සැටි, මට පෙනෙන්නට විය. 
සුරූපී ලලනාවක වූ මගේ මගේ යහළුවාගේ මව පිළිකා රෝගයට ගොදුරු වුණා. දිගු නිල් කෙස් කලඹ ගිලිහී මුඩු හිසක් මතු වුණා. හමට සහ ඇට සැකිල්ලට ඉඩ දී මස් දිය වී ගියා. නහර මතු වුණා. මේ මගේ යහළුවාගේ අම්මා දැයි මට ම සැක ඇති වුණා. සැත්කම්, එන්නත්, ලේ පරීක්ෂණ, විදුලි සැර ගැන්වීම් මැද වසර කීපයක් ගත වුණා. 
එක් දිනෙක ඇගේ හද නිසල වුණා. ඒ ඇට සැකිල්ල ආදාහනය කළා. අම්මා අළු ගොඩක් වුණා. 

මගේ මාමා යෝධ බල සහිත ගොවියෙක්. පස් වසරක්ම ඔහු සිටියේ ඇඳේ. මුළු සිරුර ම වණයක් වුණා. කුණු ගඳ හැමුවා. දූ පුතුන් ඈත් වුණා. මැස්සන් ළං වුණා. හඬ හඬාම ඔහු මැරුණා. එම්බාම් නොකළ මළ සිරුර දින තුනකට පසු ඉදිමුණා. නිල් වුණා. හම පිපිරී සැරව ගලන්නට පටන් ගත්තා. ඇස්වල, කන්වල, නාස් පුඩුවල, කටේ, මුත්‍ර මාර්ගයේ, අධෝ මාර්ගයේ පණු කැදලි. පණුවන් පිටතට ආවා. මුළු ගෙයම ගඳ ගහන්න පටන් ගත්තා. 
අසල් වැසියන් දොර කැඩුවා. මස් දිය වී යන්නට පටන් අරගෙන. කාගේදැයි හඳුනාගත නොහැකි තරමේ මළ සිරුරක් දක්නට ලැබුණා. 
හම ගැලවී, කෙස්, ලොම් ගැලවී බිමට වැටිලා. ඒවා ගෙබිම පස් බවට පත්වෙමින් තිබුණා. මස් දියවී ඇට පෑදිලා. ඇට සැකිල්ල මතු වෙලා. නහර මතු වෙලා. 
මගේ ශරීරයටත්, වෙනත් අයගේ ශරීරවලටත්, (මට අර රූමත් නිළිය සිහිවුණා) ඇගේ ශරීරයටත් සිදුවන්නේ මෙයමයි. මේ සිතිවිලි ඇතිවි ඇතිවී නැතිවි නැතිවී යනු බලා සිටියෙමි. 
ශරීරයේ ඇති ධාතු කොටස් හතර මට සිහි විය. 
පඨවි, ආපෝ, තේජෝ, වායෝ 
මේ ධාතු හතර හැර ශරීරයේ තවත් ඇත්තේ කුමක් ද? 
පඨවි - පස් වී යන දේ. කෙස්, ලොම්, නිය, දත්, ඇට, ඇට මිදුළු, මස්, නහර, ආදි මේ සියල්ල පස් වී යන දේ. පඨවි ධාතුව. 
ආපෝ - දිය වී යන දේ. දියර ගතිය, කෙළ, සෙම, කඳුළු, දහදිය, ලේ, ආදි ශරීරයේ ඇති දියර ගතිය. ඒ ආපෝ ධාතුව. 

තේජෝ - ශරීරයේ ඇති සිහිල්, උණුසුම් බව. මේ තේජෝ ධාතුව. 
වායෝ - ශරීරයේ පිච්චුණු ගතිය ඇති කරන්නේ, වායෝ ධාතුව. ශරීරය තුළ හැසිරෙන වාතය. වායෝ ධාතුව මේ ධාතු හතර හැර අන් කිසිවක්, ආත්මය කියා දෙයක් මෙහි නැහැ. 
මේ ධාතු හතරට අයත් දේ අනිත්‍යයට යනවා. විනාශ වෙනවා. මා එය දුටුවා. 
සියල්ල අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. 

මගේ ශරීරය දෙසට යළි සිත යොමු කළෙමි. 
එය අනිත්‍යයට ගිය හැටි, අනිත්‍යයට යන හැටි, මොහොතින් මොහොත එය වෙනස් වූ හැටි, මගේ මව, මාමා අනිත්‍යයට ලක් වූ හැටි, ඔවුන් ගේ මළ සිරුරු ද අනිත්‍යයට ගොස්, ඔවුන්ගේ ශරීරයේ අභ්‍යන්තර, පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු බාහිර ධාතුවලට එක් වූ හැටි, අවසානයේ දී අභ්‍යන්තර පඨවි ධාතුව මහ පොළොවට පස් වූ හැටි, මට සිහි විය. 
සියල්ල අනිත්‍යයි. ශරීරය පමණක් නොව ලොව ඇති සෑම දෙයක් ම, ගස් වැල්, ගංගා, ඇළ දොළ, සාගර, පර්වත පවා නිත්‍ය නොවේ. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයයි. 
ඒ සමගම තවත් දෙයක් සිහියට නැඟිණ. 
මගේ ශරීරය අනිත්‍යයට යාම, ලෙඩ රෝගවලට ගොදුරු වීම, ශරීරය රැලි වැටීම, දුබල වීම යන මේවායින් වැළකීමට මට හැකි ද? නො හැකි යි. මගේ ශරීරය මට අවශ්‍ය පරිදි පාලනය කළ හැකි ද? නො හැකි යි. මට අවශ්‍ය පරිදි පාලනය කළ නොහැකි දෙයක් මගේ වන්නේ කෙසේ ද? මගේ නම් මට අවශ්‍ය පරිදි එය පාලනය කිරීමට හැකි විය යුතුයි. එසේ කළ නො හැකි යි. ඒ නිසා මේ ශරීරය මගේ නොවේ. එය මම නොවේ. මගේ ආත්මය නොවේ. ආත්මය යනු මමයි, මගේ යන හැඟීමයි, මේ ශරීරය ආත්මය නොවේ. එය අනාත්මයි. 

ශරීරය අනිත්‍යයයි - අනාත්මයි 

සෑම දෙයක්ම අනිත්‍යයි, අනාත්මයි, 

උපුටාගැනීම : අන්තර්ජාලය

No comments:

Post a Comment

Total Pageviews